Monday, 23 March 2020

කුණ්ඩලකේසී කතාව

                                                                                                                                                                         (ගෙදර ඉන්න උසස් පෙළ සිසුන්ට අත්වැලක්)       

 අදටත් පාඩම් කියාදෙන කුණ්ඩලකේසී කතා වස්තුව
පාලි ධම්මපදට්ඨ කතාව ඇසුරෙන් ධර්මසේන හිමියන් විසින් රචිත සද්ධර්මරත්නාවලියේ එන සුවිශේෂි කතාවකි කුණ්ඩලකේසි කතාව. දඹදෙණි යුගයේ දී රචනා වුව ද වර්තමානයට ද පාඩම් රාශියක් කියාදෙන කතාවක් ලෙස මෙය සම්භාවනාවට පාත්‍ර වෙයි.
කතාව ආරම්භ වන්නේ රූමත් සිටු දියණියක පිළිබඳ විස්තරයකිනි.
රජගහ නුවර සොළොස් හැවිරිදි විතර වූ සිටු දුවණි කෙනෙක් විශිෂ්ට වූ රූපශෝභාවක් ඇත්තාහ. ඉතා ප්‍රසාදාවහයෝ ය. ඒ වයස පිරි සිටි ස්ත්‍රිහු ද යෞවන මදයෙන් මත් හෙයින් පුරුෂයන් කෙරෙහි ලොල්කම් ඇත්තෝ ය. උන්ගේ දෙමව්පියෝ ද උන් මිථ්‍යාචාරයෙන් නවතනු නිසා එක කෙල්ලක මෙයට පාවා දීලා සත්මහල් මාළිඟාවේ උඩුමහලේ ශ්‍රී යහන් ගබඩාවෙක රූපත් ව උපන්නාට පාටෝපයට සිරගෙයක ලුවා සේ ලූහ.”
කතුවරයා ඇ ඉතා රූමත් තැනැත්තියකැයි දක්වයි. එමෙන් ම එබඳු වයසක තරුණියක් වහා වරදේ බැදිය හැකි බව ද සඳහන් කරයි. මෙබදු වටපිටාවක සිටින ඈ වඩාත් ආරක්ෂිත විය යුතු යැයි සිතන ධනවත් දෙමාපියෝ ඇගේආරක්ෂාව තර කරන්නේ සිය නිවසේ ඉහළ ම මාලේ ඇ නතර කිරීමෙනි. මෙහි දි දෙමාපියන් දියණිය රැකීමේ වග කීම ඉටු කරන්නේ තර්ක ඤාණයෙන් නොව සාම්ප්‍රදායික චින්තනයෙනි.“රූපත්ව උපන්නාට පාටෝපයට සිරගෙයක ලුවා සේ ලූහ.” යන කියමන ප්‍රකට කරවන්නේ ඔවුන්ගේ තීරණය සිටු කුමරියගේ අයථා හැසිරීමක් නිසා නොව සමාජ සම්මතයක් නිසා ගත් ක්‍රියා මාර්ගයක් බවයි. වැඩිහිටි දරුවන් සහ දෙමාපියන් අතර සබඳතාව දුරස් වූ විටෙක ඇති විය හැකි අභාග්‍ය සම්පන්න සිඳුවීමක මුලක් අපට මේ කතාවෙන් දැනුවත් කරයි. මේ සුරක්ෂිත  ක්‍රියාවලිය කිසිසේත් ප්‍රායෝගික එකක් නොවන බව සිටු දියණියගේ ක්‍රියා කලාපයෙන් මොනවට පැහැදිලි වේ. මරණයට පත් කිරීමට යන සොරෙකු දකින ඈ ඔහු කෙරෙහි පිළිබඳ සිතක් පහළ කර ගනියි. දෙමාපියන් විසින් ඈ කෙරෙහි පැන වූ තහංචිය කෙරෙහි ප්‍රතිවිරෝධයක් ඉන් ප්‍රකාශයට පත් කළා විය හැකිය. මරණයට ගෙන යන සොරෙකු පතා ඈ දැඩි තිරණයකට එළබෙන්නිය.“ඔහු කෙරෙහි පිළිබඳ සිත් ඇතිව ඌ ම පතා බතුත් නොකා යානට නැඟිලා වැදහොත්තෝය.”ඈ කෙතරම් සොරා කෙරෙහි ආසක්ත වී ද යතහොත් ලදොත් ජීවත් වෙමි. නොලදහොත් ජීවත්විම නියම නැති බව දැක්වීමෙන් පෙනේ. අතීතයේ මෙන් ම වර්තමානයේ ද දුටු  පමණින් ආදරයෙන්  බැදෙන ආදරයෙන් බැදුන පමණින් විවාහ ගිවිස ගන්නා තරුණ තරුණියෝ වෙති. එපමණක් ද නොව ඊට අනුබල සපයන දෙමව්පියෝ ද සිටිති.  සිටු දියණියගේ පියා ද  සොරා මරන්නට ගෙන යන්නාට අල්ලස් දී වෙනෙකෙකු මරවා සොරා මුදවාගෙන සිය දියණිය සරණ කර දෙයි. සිය දරුවන්ගේ කැමැත්ත උදෙසා දෙමාපියෝ අද මෙන් ම එදා ද බරපතල වැරදි කළහ. ධර්මසේන හිමියෝ සිය කතාවේ දී දෙමාපිය දූදරු සබඳතාවේ දී බොහෝ විට වරදවා සිඳුවන එහෙත් අවධානයට ලක් නොවන ඉසව්වකට අප කැඳවාගෙන යති.
කතාවේ ඉන් පසුව විකාශනය වන කොටස අතිශය සංකීර්ණ මානව ක්‍රියාදාමයක් අපට පසක් කරවයි. දෙමාපියන් දැඩි ආරක්ෂිත විධි විධාන යොදවා රැකීමට උත්සාහ කළ එහෙත් මරණයට පත් වූ සොරෙකුට පෙම් බැඳි සිටු දියණිය සිය සැමියාට සැබැ ප්‍රේමයෙන් ලෙංගතුව සලකයි. ඈ පුදුමාකාර සෙනෙහසකින් ඔහු සන්තර්පණය කළා ය. කතුවරයා එකී අවස්ථාව චිත්ත රූප මැවෙන ,සරල සංක්ෂිප්ත වහරකින් පාඨක සිත් අබිමුවේ තබයි.“සිටු දියණියෝත් එවක් පටන් ඔහු සිත් ගන්නට සව්භරණ ලා සැරහිගෙන තුමු ම ඕහට බත් මාළු පිසති. කවති. පොවති ඉස සෝධවති. නාවති. ” සිටු කුමරිය දැඩි අපේක්ෂණයකින් සිය අනාගතය ගැන සිහින දකියි. සිය සැමියාගෙන් සොඳුරු ලොවක් පතයි.ඇගේ ප්‍රාර්ථනය වෙනුවෙන් ඈ කරන කැපකිරීම් අතිමහත් ය. එහෙත් අනපේක්ෂිත අභාග්‍යය ඉතා ම ඛේදජනකය. ඇගේ සිතේ ඔහු කෙරෙහි උපන් ආලය ඇගේ සැමියා තේරුම් නොගනී. ඔහු ඔහුට ම ආවේණික ස්වරූපයෙන් ජීවිතය දකින්නෙකි. යුග දිවියක අප අවශ්‍ය ලෙස ම අවධාරණය කර ගත යුතු කරුණක් වේ. ධර්මසේන හිමියෝ කුණ්ඩලකේසි කතාවේ දි අපට අවධාරණය කරන්නේ එකී කරුණයි. එනම් අන්‍යෝන්‍ය අවබෝධය රුචි අරුචි කම් තේරුම් ගැනීම නොමැති විටෙක යුග දිවිය බිඳ වැටෙන අයුරු අපූරුවට පැහැදිලි කරයි. සැමියා ඇගේ සියලු සත්කාර විඳිමින් සිතන සිතුවිල්ල මෙසේය“සොරාණෝ ද කීප දවසකින් කළ උපකාරත් නොසලකා ම මෑ මරාපියා මැගේ ආභරණ හැරගෙන රා බී ඇවිදනවුන්ට විකොට පියා අභිප්‍රාය දෙයක් හැරගෙන කාපියන්නේ කවර දවසෙක දෝහෝයි සිතීය.” මෙහි දී සොරෙකු මිස සැබෑ සැමියෙකු අපට නිරූපණය නොවේ. මෙය සැබවින් ම ඛේදවාචකයෙකි. අප අවධාරණය කරගත යුතු කරුණක් මෙහි ගැබ්ව ඇත. එනම් ඒකපාර්ශවීය වූ ආදරයකට පැවතිය හැකි ද යන්නයි. කතුවරයා සොරාගේ ප්‍රකාශනය දක්වා ඇත්තේ වංචනික සැමියෙකුගේ, පෙම්වතෙකුගේ භාව ප්‍රකාශනයක් ලෙසය.එය අතීතයට කෙසේ වෙතත් වර්තමානයට කෙතරම් යෝග්‍යදැයි සිතා ගත හැකිය.
ඉන් පසුව කතුවරයා අප රැගෙන යන්නේ කතාවේ ඛේදජනක ම ඉසව්වකටය. වංචනික සැමියෙකු දයාබර බිරිඳක වංචාවට ලක් කරන අයුරු ධර්මසේන හිමියෝ මැනවින් දක්වති. “කෙළ ගෙන සීගෙන යන ගමන හෙයින් තොපගේ නැයනුත් රඳවාලා යම්හයි කිවුය. උයිත් තර ව සිත් ගන්ට සිතන හෙයින් එලෙස ම කළහ.” ඔහුගේ වංචනික ඉල්ලීමට බිරිඳ එකඟ වෙයි. ඒ ඈ සකල්‍ය යෙන් ම ඔහු විශ්වාස කළ නිසා ය. අපි එය තවදුරටත් වර්තමානයේ දී ද අත් විඳිමු. මේ වංචනික බව සදා සත්‍යයක් ලෙස සැලකු බිරිඳ අවසානයේ දී මුහුණ දෙන කටුක යථාර්ථය මැනවින් නිරූපණය කිරීමට ධර්මසේන හිමියන්ගේ භාෂාව ප්‍රාණවත්ය. තමන් සැබවින් ම සැමියාට ආදරය කළ බව ඈ “ මම එවක් පටන් පක්ෂපාතව ම විසිමි.” යැයි පවසන්නේ ඒ නිසාය. එහෙත් ළඳ බොළඳ සිටු දියණිය මේ අතිශය තීරණාත්මක අවස්ථාවේ දී කටයුතු කරන ආකාරය අතිප්‍රශංසනීය වේ. වර්තමාන බොහෝ සමාජ ඛේදවාචක සිඳුවන පසුබිම මෙයයි. කළකිරීම් ,බලාපොරොත්තු කඩවීම් ජීවිත අපේක්ෂා ඉඳුරාම බිඳ දමයි. එහෙත් සිටු දියණිය සිය බුද්ධිය අවදි කර ගත්තාය.  “නුවණ නම් ඇතිවන්නා පලාගෙන කන්ට නොවත් ප්‍රයෝජන නිසා වුව” අවස්ථානුකූලව සුදුසු ම පියවර ගැනීමට ඇ පසුබට නොවූවාය. තමාට ඇලුම් නොකළ තමාගේ ආදරය තේරුම් නොගත්, තමා මැරීමට තීරණය කළ ඔහු මරා දැමී ම හැර වෙනත් විකල්පයක් ඈ සතු නොවිය.“සිටු දියණියෝද සොරුන්ගේ අකුසල් නමැති සතුරාත් සහය කොටගෙන ” යැයි දක්වමින් ඔහුගේ මරණයෙන් පසු ඈ මුහුණ දෙන ප්‍රධාන අභියෝගය නම් නිවසට යනවා ද නැද්ද යන්නයි. ඈ තෙරම් බුද්ධිමත් ලෙසත් ප්‍රායෝගික ලෙසත් එකී තීරණය ගන්නේ ද යන්න “කවර ලෙසින් වුවත් ගෙට යාමෙන් ප්‍රයෝජන නැතැයි සිතාලා ආභරණ පැලදගෙන තනිව යාමෙහි ආදිනව සලකා එයිත් එතැන ම දමා වල් වැද අනුක්‍රමයෙන් ඒ ඒ තැන ඇවිදිනි පරිව්‍රාජිකාවරුන් වසන පන්සලකට ගොසින් උන් වැදලා ස්වාමිනී මා මහණ කළ මැනවැයි කිවූ ය.” යෙදුම සනාථ කරයි. ඉන් පසුව කතාව විකාශනය වන්නේ ඈ පරිව්‍රාජිකාවක විමෙනි. වාද දහසක් උගත් ඈ ජම්බුපරිව්‍රාජිකා ලෙස පතළ වූවා ය. සැරියුත් මහරහතන් වහන්සේ හමු වීමෙන් පසුව බුදු සසුනට ඇතුල් වෙන ඈ කුණ්ඩලකේසී නම් ස්ථවිරී ව මරණ දුකින් මිදී රහත් භාවයට පත් වූවාය.
කතුවරයා සිටු දියණිය, ජම්බුපරිව්‍රාජිකව, කුණ්ඩලකේසී යන චරිත ත්‍රිත්වය තුළ ගැහැණිය මුහුණපාන ගැටළු සහ ඒවාට විසදුම් සෙවීමට ඈ දරන වෙහෙස පෙන්වා දෙයි. විශේෂයෙන් ජීවිත අභියෝග හමුවේ නොසැලෙන ගැහැනියක මේ කතාවෙන් නිරූපණය කෙරෙයි. ධර්මසේන හිමියෝ කුණ්ඩලකේසී චරිතය හරහා සමාජ කතිකාවතකට මඟ පාදයි. එනම් සමාජ අභියෝග හමුවේ හුදෙකලා වන ගැහැනිය එයින් මිදී ඒ අභියෝග ජයගත් විට ඈ උත්තම භාවයට පත් වන බවයි.
කුණඩලකේසී කතාව අප නැවත නැවත කියවිය යුතු ඇසිය යුතු කතාවක් ලෙස පෙන්වා දිය හැකිය. තරුණ පරපුර මෙන් ම වැඩිහිටි පරපුර ද බොහෝ වාරයන්හි සිඳු කරනු ලබන වැරදි ධර්මසේන හිමියෝ අපට නැවත නැවතත් මතක් කර සිටිති. එහෙයින් කුණ්ඩලකේසී කතාව පුරාතන ගද්‍ය සාහිත්‍යයට අදාළ වුව ද වර්තමාන සමාජයට බෙහෙවින් ම සමීපස්ථ කරගත හැකි කතාවක් ලෙස පෙන්වා දිය හැකිය.
තිලක් ඒකනායක අ/නාච්චාදූව සිංහල මහ විදුහල           

1 comment:

  1. කතාව ලස්සනයි. අමරදේව ශුරීන් ගයන කුණ්ඩලකේෂි ගීතය මතකයට ආවා.

    ReplyDelete