Saturday, 21 March 2020

මට්ටකුණ්ඩලී කතාව

         
(ගෙදර ඉන්න උසස් පෙළ සිසුන්ට අත්වැලක්)

සද්ධර්මරත්නාවලියෙහි මට්ටකුණ්ඩලී කතාවෙන් මානව දයාව පෙන්වයි.                                                සිංහල සාහිත්‍ය වංශයෙහි ඇති මහා බණ පොත ලෙස සද්ධර්මරත්නාවලිය අවිවාදයෙන් පිළිගැනේ. සද්ධර්මය නැමති රුවන් ඇමුණු වැල යන තේරුම ඇති මේ ග්‍රන්ථය දඹදෙණි යුගයේ විසු ධර්මසේන නම් මහ තෙර නමකගේ කෘතියකැයි සැලකේ. සද්ධර්මරත්නාවලිය පාලි ධම්මපදට්ඨ කතාව නම් අටුවා ග්‍රන්ථය ඇසුරෙන් රචිත කෘතියකි. කතුවරයාගේ පරමාර්ථය වී ඇත්තේ එකී කතා ඇසුරෙන් සාමාන්‍ය ලෝකයාට ධර්මෝපදේශ ඉගැන්වීමය. මෙය පදානුගත පරිවර්තනයක් නොවන බව සද්ධර්මරත්නාවලියෙහි ම එන “ පාලි ක්‍රමය හැර අර්ථ පමණක් ගෙන අප විසින් කළා වූ ප්‍රබන්ධයෙහි” යන පාඨයෙන් පැහැදිලි වේ .     

සද්ධර්මරත්නාවලිය කියවන පාඨකයාගේ අවධානයට යොමු විය යුතු එහි මුඛ්‍ය පරමාර්ථය විස්තර කරන්නේ “ යම් කෙනෙක් නුවණ මඳවත් කුසලඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ සත්පුරුෂයනට වැඩ සඳහා සද්ධර්මරත්නාවලිය නම් වූ ප්‍රබන්ධයක් කරම්හ” ඒ අනුව සාමාන්‍ය පොදු ජනයා සහ ධර්මාභියෝගයට උපදෙස් සැපයීම යන කරුණු උදෙසා මෙය රචිත බව පැහැදිලිය.ධර්මසේන හිමියන්ගේ ප්‍රබන්ධයෙහි දක්නට හැකි සුවිශේෂී ම කරුණ වන්නේ මිනිස් සිත්සතන්හි ඇති සංකීර්ණ බව අවබෝධ කරගෙන මිනිසුන් දෙස සානුකම්පිතව බැලිමයි. එහි පුර්විකාවෙහි එන “ වදන දරුවන්ගේ මුහුණ දකුම්හයි යන මේ විතර ආස්වාදයකින් කවර තරම් වූත් ප්‍රසව වේදනා ඉවසන ස්ත්‍රීන් පරිද්දෙන්... නිවන් පුර වදනා උන් අතුරා සැනසෙන්නට සද්ධර්මරත්නාවලී නමැති ශාලාව සරසමු” මානව දයාව ලෙස වර්තමානයේ සුලබව කතා බහට ලක්ව ඇති එහෙත් ප්‍රායෝගික බවින් අතිශය දුර්ලභ වූ සංකල්පය කෙරෙහි කතුවරයාගේ විශේෂ අවධානය යොමුව ඇති බව පැහැදිලිය. සියල්ල ප්‍රමාණ කිරීමේ අවසන් ප්‍රතිඵලය ‘ මිනිසායි ’. මනුෂ්‍යත්වය නම් වූ සංකල්පය ප්‍රමාණ කරන්නේ කෙසේ ද? ඊට පිළිතුරක් සද්ධර්මරත්නාවලි පුර්විකාවෙහි මෙසේ දැක්වේ. “ තමාගේ සිතට අනෙක් ඉසුරු කෙනෙකුන් නැති හෙයින් අකුසලින් වෙන් කොට කුසල්හි පිහිටුවන්නට ප්‍රාණඝාතාදි ඒ ඒ අකුසලින් වෙන් ව දුරුවන්ට කරන ව්‍යායාම නැති හෙයින් තම තමා සිත තමන් ම හික්මවීම යහපතැ” යන්න එකි අදහස සාධනය කරයි.
සද්ධර්මරත්නාවලියෙහි එන බොහෝ කතා වස්තූන්හි මානව දයාව පිලිබඳ අදහස හොදින් සංකලනය වී ඇත. එහි එන මට්ටකුණ්ඩලි කතාව ඇසුරෙන් කතුවරයාගේ මානව දයාව සාකච්ඡා කෙරේ. මෙම කතාව බෞද්ධ සාහිත්‍ය යේ චිර ප්‍රසිද්ධ එකකි. සැවැත් නුවර අදින්න පුබ්බක නම් සිටුවරයෙන් විසුවේය. මට්ටකුණ්ඩලී නමින් ඔහුට එකම පුතෙක් සිටියේය. ඒ පුතුට කර්ණාභරණයක් සෑදීම සඳහා අධික වියදමක් කිරිමට සිඳුවෙතැයි තමා විසින් ම කළ ආභරණයක් පුතුට පැලඳුවේය. එම ආභරණය මට සිලිටු නොවූ බැවින් ඔහුගේ පුතු මට්ටකුණ්ඩලී නම් විය. ඔහු රෝගි වූ විට බෙහෙත් කරන්නේ තමා විසින් ම ය. වෛදයවරු ඔහුගේ අධික ලෝභය නිසා ඔහුගෙන් පලිගැනිමට බොරු බෙහෙත් කියා දුන්හ. එහි ප්‍රතිඵලය ලෙස මට්ටකුණ්ඩලී අකාලයේ මියගියේ ය. බුදුරජාණන් වහන්සේගේ කරුණාවට පාත්‍ර වන මට්ටකුණ්ඩලී උන්වහන්සේගේ දැකීමෙන් ප්‍රසාදයට පත් ව මිය ගොස් දෙව් ලොව ඉපදුනේ ය. ඉන් පසුව සිඳු වන සිද්ධිදාමය නිසා අදින්නපුබ්බක නිර්ලෝභී අයෙක් වූයේ ය. මෙහිදී අදින්න පුබ්බක නිරූපණය කර ඇත්තේ අධික ලෝභීකම, පුත්‍ර ස්නේහය යන පරස්පර හැඟීම් දෙකෙන් මිරිකුන චරිතයක් ලෙස ය. ඔහු අධික ලෝභියෙකු වුව ද අධම චරිතයක් ලෙස නිරූපණය නොකිරිමට ධර්මසේන කතු හිමියෝ වග බලා ගත්හ. “ බමුණා මිය ගිය පුතු දවා පියා මළ පුතු අරභයා අඩමින් දවාලු සොහොනේ ඇවිද්දී” ලෙස දක්වා ඇත්තේ ඔහුගේ මනසේ පැවති ස්වභාවයයි.
ධර්මසේන හිමියන් මේ කතාව රචනා කරන්නේ බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම නිසා දෙව් ලොව සැපත ලද හැක යන කරුණ පොදු ජනයාට ලබා දිම සඳහා ය. එකී සිද්ධි නිරුපණය කතුවරයා අතින් මනුෂ්‍යත්වය පිළිබඳ පදනමක සිට කර ඇති බව පෙනේ. මෙහි අදින්නපුබ්බක චරිතය ප්‍රධාන ලෙස විස්තර කෙරේ. චරිත නිරූපණයේ දී අදින්න පුබ්බක නම් මසුරා පිලිබඳ ව දැඩි ආවේගයකින් තොරව ප්‍රකාශ කිරිමට කතුවරයා වග බලා ගනී. බෞද්ධ සංස්කෘතිය විසින් හික්මවන ලද සිංහල ගැමියෙකු සිහිපත් වන අන්දමේ නිරුපණයක් දක්නට ලැබේ. සතුරාගේ හෝ විපතකදී අනේ යැයි කියු ගැමියෙකු සිංහල සංස්කෘතිය තුළ ජීවත් විය. මිනිසෙකු පමණක් නොව සතා සිව්පාවා උදෙසා ද තම සිත කරුණාවෙන් බර කර ගත් සිත් සහිත මිනිස්සු බෞද්ධ සමාජයෙන් හික්මීම ලද්දෝ වුහ. සද්ධර්මරත්නාවලි කතුවරයා සිය කතාව තුළින් අදින්න පුබ්බක ද අනුකම්පාවට බඳුන් කරන්නේ ද ඉහත කී කරුණ නිසාම ය. එහෙත් අදින්න පුබ්බකගේ මසුරුකම සාධාරණීය කිරීමක් මෙහි දී සිඳුවන්නේ නැත. එය ප්‍රතික්ෂේප කළ යුතු තත්ත්වයක් බව මෙහි දී අවධාරණය කරණු ලබයි. “ නුග ගස මහත් වත් නුග ඵලය කුඩාවන්නා සේ, අකුරු ලියන සේ නොදන්නා කෙනෙකුන් පත්වල ඉරි අදනා සේ, පය බරවායට පිටිකර බෙහෙත් බදින්නා සේ, ඇස් සරහන්නට තොල අඳුන් ගානා සේ , ආදා යවා තබාලා වල්පත ගත්තා සේ.” ආදී වූ ළගන්නා සුලු උපමා බහුලව යොදා ගනිමින් කතුවරයාණෝ මසුරුකමේ අනුචිතභාවය තහවුරු කරයි. මසුරෙකු යනු සමාජයේ අතීතය, වර්තමානය සහ අනාගතයටත් බිහි විය හැකි කෙනෙකි. එසේ වීමට බලපාන ‘මිනිස්කම’ කර්කෂ ද්වේශයකින් විවේචනය කළ යුක්තක් ද නැතහොත් සානුකම්පිතව විමර්ශනය කළ යුක්තක් ද යන්න ධර්මසේන හිමියෝ මැනවින් වටහාගෙන සිටියහ. එය මට්ටකුණ්ඩලී කතාවේ චරිත නිරූපණයෙන් පැහැදිලි වේ. අදින්නපුබ්බකගේ අන්වර්ථ නාමය ඔහුට හොදින් ම ගැලපෙන බව “තණ අග ගලා තෙල් බින්දුවක් විතරක් අනුන්ට නුදුන් විරූය.” යන යෙදුමෙන් හොදින් ම සනාථ වෙයි. අදින්න පුබ්බකගේ සිත පිළිබඳ ව දක්වන විග්‍රහය බෞද්ධ මනෝ විද්‍යාවේ ගැඹුරු අර්ථයක් පිළිබිඹු කරයි. ඒ පිළිබිඹු කිරිම් තුළින් පුහුදුන් මනසක ස්වරූපය පිළිබඳ සානුකම්පිත බෞද්ධ හිමිනමකගේ ප්‍රත්‍යක්ෂ ඤාණය කෙතරම් ප්‍රභාවිත එකක්දැයි දක්වයි. මේ කතාවේ අදින්නපුබ්බක මසුරු මෝඩයෙකු බව අපට පෙනෙයි. එහෙත් සද්ධර්මරත්නාවලී කතුවරයා එකී මසුරු මෝඩ මිනිසා දෙස බලන්නේ ලෝකයා මසුරා දෙස බලන ඇසින් නොවේ. ඔහු පිළිබඳ හාස්‍ය මුසු උපහාසය යටින් දිවෙන්නේ දයාව මුසු ආකල්පයක් බව “... ඒ පරිද්දෙන් ම එතැනට පැමිණි පර්ෂදටත් , බමුණාණන්ටත් දේවතාවාණන්ටත් නිවන් සම්පත් දෙනු නිසා බණ දෙසන සේක්.” “ත්‍යාගි අදහස් මඳකුත් ඒ අවධියට නැති අදින්නපුබ්බක බමුණු ද සෝවාන් පෙලෙහි පිහිටා ත්‍යාගි විය.” යන යෙදුම්වලින් තේරුම් ගත හැකිය. බමුණා පමණක් හුදෙකලා කොට අනෙක් අය පමණක් නිවන් දැක්කවීමේ කුරිරු සිතක් කතුවරයා තුළ නොවිය. පාඨක සිත අදින්නපුබ්බක චරිතය පිළිබඳ විස්මයට පත් කරමින් ද නැවත අනුකම්පාවට බඳුන් කරමින් ද චරිත සිද්ධි නිරුපණයට කතුවරයා සමත් ව ඇත. 

ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ උපහාසය යනු ආවේනික ලක්ෂණයක් බව සද්ධර්මරත්නාවලිය විමසන්නෙකුට පැහැදිලි කර ගත හැක. එකී ලක්ෂණය පාඨකයන්ගේ සිත් ඇද ගැනිමට ගත් උත්සහයක් පමණක් ම නොවේ. සමාජය යනු විවිධ මිනිස් හැසිරීම් ගති ලක්ෂණවලින් පිරි එකකි. විවිධ පුද්ගලයින් සතු දුර්වලකම් නිසා ඔවුන් නිග්‍රහයට පත් කොට ගර්හාවට පත් කොට නිර්දය රසයක් නිර්මාණය කිරීම වෙනුවට ඔවුන් කෙරෙහි අනුකම්පාව ඇති කිරිමට ගත් උත්සහයක් මට්ටකුණ්ඩලී කතාවෙන් ප්‍රකට වෙයි. ලෝභී බව දුර්ගුනයකි. මිනිස්සු විවිධ දුර්ගුණවලින් පෙළෙති. එය මිනිස් ප්‍රකෘතියේ ඇති වරදකි. දුර්වල මිනිස්සු මේ මනුෂ්‍ය ප්‍රකෘතියට ගොදුරු වෙති. ගොදුරු වී අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙති. එහෙයින් ඔවුන් ඇත්ත වශයෙන් ම බඳුන් විය යුත්තේ නිගාවට නොව අනුකම්පාවටය. ධර්මසේන හිමියෝ ඒ උත්තුංග සිතුවිල්ල මැනවින් පසක් කළහ.
මේ අනුව පැහැදිලි වන්නේ ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ ප්‍රමුඛ ලක්ෂණයක් වන්නේ සිය චරිත නිරූපණයේදී මානව දයාවෙන් යුක්තව ඒ චරිත දෙස බැලිමයි. මට්ටකුණ්ඩලී කතාවෙන් එකී අදහස මැනවින් සාධනය වන බව පෙන්වා දිය හැකිය.                                                                     

තිලක් ඒකනායක අ/නාච්චාදුව සිංහල මහ විදුහල

1 comment: