Monday, 23 March 2020

ගුත්තිල කාව්‍යය

(ගෙදර ඉන්න උසස් පෙළ සිසුන්ට අත්වැලක්)

ගුත්තිල කාව්‍යයයෙන්  මතු වන වෑත්තෑවේ ජනකවියා
සිංහල කාව්‍යාවලියෙහි මුදුන් මල ලෙස සම්භාවනාවට පාත්‍ර වු ග්‍රන්ථය ගුත්තිල කාව්‍යය වේ. සිව්පද ජාතක කාව්‍යය අතර රමණීය කාව්‍යය ලෙස එය හැදින්වේ. කතුවරයා සතු ජීවිත පරිඥානය¸ මානව දයාව¸ මෙන් ම අපූර්ව වස්තු නිර්මාණයෙහිලා දැක් වූ කුසලතාව ගුත්තිලයෙන් විෂද වේ. කෝට්ටේ යුගයේ සය වන පැරකුම්බා රජ දවස ලියවුණු ගුත්තිල කාව්‍යය ගුත්තිල ජාතකය අනුව යමින් විරචිත ය. සලාවත ජයපාල මැතිුගේ ඇරයුමෙන් රචිත මෙම කෘතිය පද්‍යය  511 කින් සමන්විත ය. ගුත්තිලය රමණීය කෘතියක් වීමෙහිලා එහි කතුවර වැත්තෑවේ හිමියන් අනුදත් කවි මග බෙහෙවින් ම ඉවහල් වි ඇති බව පෙනේ . සාම්ප්‍රදායික කවි මග අනුගමනය කරමින් ම සිය අනන්‍යතාව ප්‍රකට කරවීමට එතුමෝ සමත් වූහ. ගුත්තිල කතුවරයා ජනකවියෙකුගේ විලාසයෙන් සිය කාව්‍යය ග්‍රන්ථය සම්පාදනය කළේය. ජනකවියට සුවිශේෂ වූ ලක්ෂණ රැසක් ජනකවි පරිශීලනයේ දී අපට හදුනා ගත හැකි ය. ඒ අතර සංක්ෂිප්ත බව සහ සරල බස් වහර¸ සංයමය¸ අව්‍යාජ බව¸ පොදු ජන ජීවිතයට සමිපස්ථ බව මෙන් ම නිහතමානි බව ද වේ. ගුත්තිලයෙන් එකි ජනකවි සම්ප්‍රදාය මතු වූ අවස්ථා සංක්ෂිප්තව දැක්වීමක් මෙහි දී අපේක්ෂා කෙරේ .
සියලු දේ සවිස්තරව කීම සම්භාව්‍ය කාව්‍ය රචකයාට අභිමත වූවකි. එහෙත් ජනකවි සම්ප්‍රදාය තුළ සංක්ෂිප්ත බව මෙන් ම සරල බව දක්නට ලැබේ. මේ නිසා ම ගුත්තිල කතුවරයා දිගු වැනුමක් සිදු කළේ අවශ්‍ය ම තැනක දී පමණි. අනෙක් බොහෝඅවස්ථාවල දී ඒ ඒ සිදුවීම් වහ වහා කීවේ ය.අසන්නා තුළ කුතුහලය රැක ගැනිමටත් ඔහු වෙහෙසට පත් නොකිරීමටත් ගුත්තිල කතුවරයා වග බලා ගත්තේ ය. සංක්ෂිප්ත බව සහා වාද නැරඹුමත්  සහ දෙව්ලොව සිරි වැනුමත්  හැරුණු කොට අනෙක් සියලු වැනුම් නිදසුන්ය. ගුත්තිලයේ කතා නායකයා ගුත්තිල ඇදුරා වන අතර ඔහු පිළිබදව පද්‍ය පහකින් සවිස්තරාත්මක වර්ණනයක් කිරිමට කතුවරයා සමත් වෙයි. (108-113 පද්‍යය) ගුත්තිල ඇදුරු වැනුම කෙටි වුව ද එය ගුත්තිල ඇදුරා පිළිබ  රසිකයා සපුරා දැනුවත් කිරීමට සමත් වර්ණනයකි. සරල බව ගුත්තිල කාවයය පුරා ම දක්නට ඇති ලක්ෂණයක් වන අතර කවියා ජනකවියාට සමීප වීමට එකී කරුණ ඉදුරාම බල පා තිබේ. මුසිල වීණා වාදනය කරණ අවස්ථාව කතුවරයා දක්වන්නේ ඔහුගේ මනෝභාවය මුල සිට ම පාඨකයාට දැනුවත් කළ යුතු සේ හිමිනි. ජනකවියා සේ ම ගුත්තිල කවියා ද සරල එහෙත් සිත් ගන්නාසුලු  ලෙස අදාළ අවස්ථාව ප්‍රතිනිර්මාණය කරයි.
බසකින්                                    නොදන්නා
කියන පුවතට                                 පෙන්නා
නොසතුටුව                                      ඉන්නා
දනන් මෙන් උන් බලා                      ඉන්නා                (138)
සැරයට ලං                                      නොවන
ළිහිණියෙකු අත්                             පසුරෙන
ගනිමියි තැත්                                       කරන
එකකු මෙන් ගායනා                         කරමින          (140)


වෙසෙසින් නියම                                  කොට
දුන්නත් ඉසුරු මුළු                                      රට
තුටු නොවන                                   එකෙකුට
ගමක් දෙන මෙන් සතුටු                        පඩුරට   (142)   
ඒ අසා ව්‍යාපාරයෝ සතුටු වන්නාක් නුවූහ. එවිට මූසිලයෝත් මද්දම කොට විනා ගාන්නට වන. එවිටත් මදකුත් සතුටු නුවුහ. එවිට මූසිල නම් ගාන්ධර්ව සිතන්නේ එසේ වී නම් මුන් හැම විශේෂයෙක්  නොදන්නා කෙනෙකුන් වනැයි සිතා එසේ නම් මමත් මුන් හැම නොදන්නා මිනිසුන්ට නපුරු කොට ගායනා කරන්නට වන . එවේලේත් කිසි කෙනෙක් සතුටක් නුවූහ. (ගුත්තිල ජාතක කතාව)
ජාතක කතාවේ ඇති මූසිලගේ වීණා වැයීමේ වෑයම ගුත්තිල කතුවරයා රසවත් එකක් කරන්නේ මේ සරල රිතිය අනුගමනය කරමිනි. ගුත්තිල කාව්‍යය පුරා ම ඇති බොහෝ  වර්ණනා සරල ඒවා වෙයි. ඒ නිසාම කතුවරයා අනුදත් රීතිය ජනකවි රීතියට සමාන වුවකි. ඔහු යොදා ගත් උපමා රූපකාදිය ද ඉතා සරල ඒවාය. ඒ සරල බව රසිකයාගේ හදවත වඩාත් අමන්දානන්දයට පත් කරයි.
අසුරන් ජය ගෙන සිත සේ
සුරසෙන් කෙළි සැණකෙළි සේ   -      උපමා
හිමි තම නැණ නැවින්  - රූපක
සුරත් තඹරු පෙති සෙ නෙතින්  -        උපමා
කිරි       දියෙනි            දෙවියත්
ුරු සුදුවන කලෙක් නම් නැත් -        උපමා
ජනකවියා මෙන්ම ගුත්තිල කවියා ද සරල උපමා යොදා ගත්තේ සිය කාව්‍ය ප්‍රතිභානයට කිසිදු හානියක් නොවන අයුරිනි. උපමා රූපක යොදා ගැනීම  අතින් වෑත්තෑවේ හිමියන් ජනකවියාට ලං වන්නේ ඒවා අතිශය සරල වීමත් අව්‍යාජවීමත්  සහ ඖචිත්‍ය බවින් රසිකයා අපූර්ව නිර්මාණ චමත්කාරයකට කැවාගෙන යනු ලබන නිසාත් ය.
ගුත්තිල කතුවර වෑත්තෑවේ හිමියන් ජනකවියාට ලං වන තවත් සුවිශේෂි  කරුණක් වන්නේ ඔහු සතු වූ සංයමයයි. “ වෑත්තෑවේ හිමියන් පිළිබඳ තොරතුරු නොදත හැකි බැවින් උන්වහන්සේ කෙබදු මනස් ඇත්තකු වූ දැයි සෙවීමට ගුත්තිල කාව්‍යයම වහල් කොට ගත යුතුය. නිහතමානය¸ සිත කය උතුරායන තරම් වූ බුද්ධ භක්තිය දියෙන් කිර වෙන් කොට ගන්නා හංසයකු සේ  ස්ත්‍රිය¸ සංගීතය¸ කාව්‍යය යන ආදියෙන් නිර්මල ආස්වාදයක් ලැබූ රුචිකත්වය ¸බුදුන් මැරීමට ගල් පෙරළුවෙකුට පවා අනුකම්පා කරන තරම් කරුණාවෙන් තෙත් වු ළය ¸ උචිතානුචිත විවේකයෙහි අපූරු බුද්ධිය¸ අවුල් නිරවුල් කිරිමෙහි හුරුබුහුටිකම¸ දේව කථා නිපද වූ ආදි කවීන්ගේ කල්පනා ශක්තිය වැනි සුගම කල්පනා ශක්තිය ¸ කුඩා දරුවෙකු සේ දේව කථාවෙන් චමත්කාරය ලැබීමේ වාසනාව යන ආදී චිත්ත චෛතසික ලක්ෂණයෙන් හෙබි සහජ කවියෙකු ලෙස ය වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍ය යෙහි පිළිබිඹු වී ඇත්තේ.” ( සිංහල සාහිත්‍ය යේ නැඟීම 264 පිටුව)
ජනකවියා පුද්ගල දුබලකම්¸ දුෂ්ටකම් දෙස උපේක්ෂා සහගත ලෙස බැලුවේ ය. බණ කතා ඇසීමත් චිරාත් කාලයක් ගැමියාට හුරුවූ චින්තනය ඔහු එබදු තත්වයකට පත් කළේ ය. වෑත්තෑවේ හිමියෝ ද එකී ජන විඥානය හදුනාගෙන

සිටියහ. එබැවින් දෙව්දත් තෙරුන් මෙන් ම දෙව්දතුන්ගේ පූර්ව චරිතයක් වූ මූසිල කෙරෙහි ද සානුකම්පිතව බැලීමට වෑත්තැවේ හිමියෝ සමත් වූහ. ගුත්තිලය සිත් පහන් කරන කාව්‍යයක් වන්නේත් ¸ වෑත්තෑවේ හිමියන් ජනකවියාට බොහෝ ලං වන්නේත් මේ සානුකම්පිත දෘෂ්ටිය නිසා ය. මූසිලයාගේ මෝඩකම්¸ දුෂ්ටකම් දෙස ද අනුකම්පා සහගතව බැලිමට වැත්තැවේ හිමියෝ සමත් වූහ.ගුත්තිල ඇඳුරු සක් දෙවිඳුන්ගේ පිහිට ලබා වීණා තත් සිඳින විට ඒ අනුගමනය කරන මූසිලයා කෙරෙහි අනුකම්පාවක් අප සිත්හි ඇති කරවන්නේත්  වාදයෙන් පරාජයට පත් ව ඔහු පත් ඛේදනීය ඉරණම හමුවේ අනුකම්පා සහගත වන්නේත් මේ සානුකම්පිත බව නිසාය.
“ යන ඔහු                     අසරිණින්
දුටු දුටු දනෝ                 උරණින්
තමන් බල                     පමණින්
දෙමින් බැට කැට මුගුරු පහනින්                   (315)
මූසල මෙපුර                                   තට
නුවරෙක් නොවෙයි                   ඉඳිනට
ඉන් තෝ මෙහි                                    නොසිට
යවයි නෙරපූය යම                    පුරයට   ( 317)
ගුත්තිලගේ ජයග්‍රහනයෙන්  උදම් වු ජනයා සිය බල පමණින් මූසිලට කැට මුගුරු පහණින් බැට දෙමින් යම පුරයට යවන අයුරු වැත්තැවේ හිමියෝ  පවසන්නේ ‘ අනේ ’ යන හැඟුම සහෘදයාට  ද කියවෙන අයුරෙනි. වෑත්තෑවේ හිමියන්ද ජනකවියා මෙන්ම උපන් අනුකම්පාව සහිත වූවෙක් ම විය.
වෑත්තෑවේ හිමියන්  ජනකවියාට සමීප විමේ තවත් එක් විශේෂ ලකුණක් නම් ගැමි වාගාලාප සිය කාව්‍යය පුරා ම යොදා ගැනිමයි. උගතකු විය යුතු අවස්ථාවේ උගතකු වීම ¸බුද්ධිමතකු විය යුතු අවස්ථාවේ බුද්ධිමතෙකු විම ¸ ගැමියකු විය යුතු අවස්ථාවේ ගැමියකු විම බොළඳ අදහස් ඇති අවස්ථාවේ බොළඳ වීම ශ්‍රේෂ්ඨ ජනකවියෙකුගේ ප්‍රතිභානයක් බව ද ¸ වෑත්තෑවේ  හිමියන් ශ්‍රේෂ්ඨ  ජනකවියකුට හිමි තැන ලබන්නේ උන්වහන්සේ තුළ ද මේ ලකුණු නො අඩුව  තිබුණ නිසාවෙනැයි මාර්ටින් වික්‍රමසිංහයෝ පවසති. එනයින් බලන කල ගත්තිලයේ ඇති පහත වාගාලාප පසක් කරන්නේ වෑත්තෑවේ හිමියන් ජනකවියාට සමිප වූ බව නොවේ ද?
තුටු නොවන එකෙකුට- ගමක් දෙන මෙන් සතුටු පඬුරට (142)
මොහුට පුලුවන් කල - මෙමට බැරි කිම පුරුදු එැම කල (192)
ලෙස සිය පිය සුතහු - හොදයි ඇති කළ නියා අප මොහු (197)
මොහුට අප දුන් සිප් - පෙවූ කිරි වැන්න විස ගොර සප්  (100)
මෙසේ වු අයටත් සිල්ප සෑදේ  (200)
ලදිමු ඇස් කන් ලත් පලේ  (333)
එසක සැපත් පවසා කිම නිමක් නැති (473)
ජනකවියා විරිත¸ එලිවැට හා අනුප්‍රාසාත්මක ගීතවත්භාවය සිය කාව්‍ය යෙහි සුවිශේෂි ලක්ෂණ බවට පත් කළේ ය. ජනකවියා සිය පද්‍ය යෙන් මතුවන මනෝභාවයන් පමණක් ම අපේක්ෂා නොකළේ ය. එහි ගායනීය බව පිළිබඳව ද
                       
සැලකිලිමත් විය. ඒ නිසා ජනකවියා මෙන් ම අදාළ අවස්ථාවට සුදුසු සේ පද භාවිතයට වෑත්තැවේ හිමි මැළි නොවීය.
නවතා                          ගිගිරියේ
අසන ලෙස සිත් පි              රියේ
කර කන්                       බිහිරියේ
කරත වෙණ ගායනා        සරියේ
මෙහි දී ගිගිරි යන්න ගිගිරියේ ලෙස ද පිරිය යන්න පිරියේ ලෙස ද බිහිරි යන්න බිහිරියේ ලෙස ද විකෘත කොට කීමට වෑත්තෑවේ කවියා පෙළබිණි. ඒ පද විකෘතිය බැහැර කලේ නම් වීණා නාදය පිළිඑබඳ පරිසරයේ ස්වභාවය රසිකයාට මෙතරම් හොඳින් සන්නිවේදනය නොවනු ඇත. ඒ අනුව ද වෑත්තෑවේ හිමියෝ ජනකවියාට සමීප වූහ.
වෑත්තෑවේ හිමියන් ජනකවියාට වඩාත් සමිප වන අවස්ථාව සහිත වර්ණනය වන්නේ ගුත්තිල ඇඳුරුතුමා දෙව් ලොවට ගොස් ¸ආපසු’විත් මිනිසුන්ට බණ කියන අවස්ථාවයි. (467- 476 පද්‍යයන්)
“ඇතෙක දෙතිස් කුඹු දළ සිවු සැටක්                 ඇති
ගෙයක රුවන් ටැම් හැත්තෑ දහස්                       ඇති
රියෙක යොදන ලද සුඳු සිදු දහස්                        ඇති
                                                 එසක සැපත් පවසා කිම නිමක්                          නැති         (473)                                                                                                                                                                                                                                                      සක් දෙවිඳුගේ  ඇතු ගැන වෑත්තෑවේ හිමියන් පවසන අදහස වඩාත් සමීප වන්නේ ජනකවියකට ය. ‘එසක සැපත් පවසා කිම නිමක් නැති’ යන ප්‍රකාශය ජනකවි ආරට ඉතා ලංවන්නකි. දක්ෂ උගත් කවියෙකු වන එහිමියෝ සිය උගත්කම් තර්ක බුද්ධිය පලවා හැර සැබෑ ජනකවියෙකු වන අන්දම මෙහි දී අපට පෙනේ.
ගසෙක පැහැය ගවු දෙසියක                               දිසේයා
මලෙක සුවඳ සිවු සිය ගවු                                 ඇසේයා
ගලෙක මොළොක උන් සක් නැබ                     වැසේයා
නොයෙක එසක සැප පවසමි                           කෙසේයා     ( 474)
දෙව් ලෝ සිරිය ගැමි බණ පොතට අදාළ වූවකි. ගුත්තිල ඇඳුරු සිය ජනයාට පවසන තොරතුරු අනාදිමත් කලෙක සිට මෙරට ජනයා ද අසා දැන සිටි කරුණකි. ජනකවියා සිය පරිසර සාධක අදාළ කරගන්නාක් මෙන් ගුත්තිල කවියා ද සාමාන්‍ය ජනයාගේ සිතුම් පැතුම් හොඳින් තෝරා බේරා ගත් බවක් පෙනේ. සිය රසිකයාගේ එනම්
ගැමියාගේ රස වින්දනය පිළිබඳ හොදින් දත් වෑත්තෑවේ හිමි සිය කවි රීතිය අතින් ජනකවියාට විශේෂයෙන් ම ලං වූවෙකි.උක්ත කරුණු කාරණාවලින් අපට පැහැදිලි වන කරුණක් ඇත. එනම් වෑත්තෑවේ හිමි සිය කෘතිය සිංහල කාව්‍යාවලියේ මුදුන් මල බවට පත් කළේ එතුමා භාවිත කළ ජනකවි රීතිය නිසා බවයි.
(ආශ්‍රිත ග්‍රන්ථ:   වෑත්තෑවේ තෙරිඳුන් කළ ගුත්තිල කාව්‍යය-සංස්කරණය සිරි තිලකසිරි
                        සිංහල සාහිත්‍ය යේ නැඟීම - මාර්ටින් වික්‍රමසිංහ
                        ගුත්තිල කාව්‍යය වර්ණනා - ආර්. කේ. වීරක්කොඩි ජයසිංහ)
                      සැකසුම/ තිලක් ඒකනායක         අ/ නාච්චාදූව සිංහල මහා විද්‍යාලය

No comments:

Post a Comment