Wednesday, 4 November 2020
Saturday, 31 October 2020
Tuesday, 27 October 2020
Monday, 17 August 2020
Sunday, 19 July 2020
Tuesday, 30 June 2020
Monday, 25 May 2020
Sunday, 17 May 2020
Sunday, 10 May 2020
Friday, 1 May 2020
Sunday, 26 April 2020
Tuesday, 14 April 2020
Monday, 13 April 2020
Sunday, 5 April 2020
Sunday, 29 March 2020
Monday, 23 March 2020
කුණ්ඩලකේසී කතාව
(ගෙදර ඉන්න උසස් පෙළ සිසුන්ට අත්වැලක්)
අදටත් පාඩම් කියාදෙන කුණ්ඩලකේසී කතා වස්තුව
අදටත් පාඩම් කියාදෙන කුණ්ඩලකේසී කතා වස්තුව
පාලි ධම්මපදට්ඨ
කතාව ඇසුරෙන් ධර්මසේන හිමියන් විසින් රචිත සද්ධර්මරත්නාවලියේ එන සුවිශේෂි කතාවකි
කුණ්ඩලකේසි කතාව. දඹදෙණි යුගයේ දී රචනා වුව ද වර්තමානයට ද පාඩම් රාශියක් කියාදෙන
කතාවක් ලෙස මෙය සම්භාවනාවට පාත්‍ර වෙයි.
කතාව ආරම්භ
වන්නේ රූමත් සිටු දියණියක පිළිබඳ විස්තරයකිනි.
“රජගහ නුවර සොළොස් හැවිරිදි විතර වූ සිටු දුවණි කෙනෙක්
විශිෂ්ට වූ රූපශෝභාවක් ඇත්තාහ. ඉතා ප්‍රසාදාවහයෝ ය. ඒ වයස පිරි සිටි ස්ත්‍රිහු ද
යෞවන මදයෙන් මත් හෙයින් පුරුෂයන් කෙරෙහි ලොල්කම් ඇත්තෝ ය. උන්ගේ දෙමව්පියෝ ද උන්
මිථ්‍යාචාරයෙන් නවතනු නිසා එක කෙල්ලක මෙයට පාවා දීලා සත්මහල් මාළිඟාවේ උඩුමහලේ ශ්‍රී
යහන් ගබඩාවෙක රූපත් ව උපන්නාට පාටෝපයට සිරගෙයක ලුවා සේ ලූහ.”
කතුවරයා ඇ ඉතා
රූමත් තැනැත්තියකැයි දක්වයි. එමෙන් ම එබඳු වයසක තරුණියක් වහා වරදේ බැදිය හැකි බව ද
සඳහන් කරයි. මෙබදු වටපිටාවක සිටින ඈ වඩාත් ආරක්ෂිත විය යුතු යැයි සිතන ධනවත්
දෙමාපියෝ ඇගේආරක්ෂාව තර කරන්නේ සිය නිවසේ ඉහළ ම මාලේ ඇ නතර කිරීමෙනි. මෙහි දි
දෙමාපියන් දියණිය රැකීමේ වග කීම ඉටු කරන්නේ තර්ක ඤාණයෙන් නොව සාම්ප්‍රදායික
චින්තනයෙනි.“රූපත්ව උපන්නාට පාටෝපයට සිරගෙයක ලුවා සේ
ලූහ.” යන කියමන ප්‍රකට කරවන්නේ ඔවුන්ගේ තීරණය සිටු කුමරියගේ අයථා හැසිරීමක්
නිසා නොව සමාජ සම්මතයක් නිසා ගත් ක්‍රියා මාර්ගයක් බවයි. වැඩිහිටි දරුවන් සහ
දෙමාපියන් අතර සබඳතාව දුරස් වූ විටෙක ඇති විය හැකි අභාග්‍ය සම්පන්න සිඳුවීමක මුලක්
අපට මේ කතාවෙන් දැනුවත් කරයි. මේ සුරක්ෂිත
ක්‍රියාවලිය කිසිසේත් ප්‍රායෝගික එකක් නොවන බව සිටු දියණියගේ ක්‍රියා
කලාපයෙන් මොනවට පැහැදිලි වේ. මරණයට පත් කිරීමට යන සොරෙකු දකින ඈ ඔහු කෙරෙහි පිළිබඳ
සිතක් පහළ කර ගනියි. දෙමාපියන් විසින් ඈ කෙරෙහි පැන වූ තහංචිය කෙරෙහි ප්‍රතිවිරෝධයක්
ඉන් ප්‍රකාශයට පත් කළා විය හැකිය. මරණයට ගෙන යන සොරෙකු පතා ඈ දැඩි තිරණයකට
එළබෙන්නිය.“ඔහු කෙරෙහි පිළිබඳ සිත් ඇතිව ඌ ම පතා
බතුත් නොකා යානට නැඟිලා වැදහොත්තෝය.”ඈ කෙතරම් සොරා කෙරෙහි ආසක්ත වී ද
යතහොත් ලදොත් ජීවත් වෙමි. නොලදහොත් ජීවත්විම නියම නැති බව දැක්වීමෙන් පෙනේ. අතීතයේ
මෙන් ම වර්තමානයේ ද දුටු පමණින් ආදරයෙන් බැදෙන ආදරයෙන් බැදුන පමණින් විවාහ ගිවිස ගන්නා
තරුණ තරුණියෝ වෙති. එපමණක් ද නොව ඊට අනුබල සපයන දෙමව්පියෝ ද සිටිති. සිටු දියණියගේ පියා ද සොරා මරන්නට ගෙන යන්නාට අල්ලස් දී වෙනෙකෙකු
මරවා සොරා මුදවාගෙන සිය දියණිය සරණ කර දෙයි. සිය දරුවන්ගේ කැමැත්ත උදෙසා දෙමාපියෝ
අද මෙන් ම එදා ද බරපතල වැරදි කළහ. ධර්මසේන හිමියෝ සිය කතාවේ දී දෙමාපිය දූදරු සබඳතාවේ
දී බොහෝ විට වරදවා සිඳුවන එහෙත් අවධානයට ලක් නොවන ඉසව්වකට අප කැඳවාගෙන යති.
කතාවේ ඉන් පසුව
විකාශනය වන කොටස අතිශය සංකීර්ණ මානව ක්‍රියාදාමයක් අපට පසක් කරවයි. දෙමාපියන් දැඩි
ආරක්ෂිත විධි විධාන යොදවා රැකීමට උත්සාහ කළ එහෙත් මරණයට පත් වූ සොරෙකුට පෙම් බැඳි
සිටු දියණිය සිය සැමියාට සැබැ ප්‍රේමයෙන් ලෙංගතුව සලකයි. ඈ පුදුමාකාර සෙනෙහසකින්
ඔහු සන්තර්පණය කළා ය. කතුවරයා එකී අවස්ථාව චිත්ත රූප මැවෙන ,සරල සංක්ෂිප්ත වහරකින්
පාඨක සිත් අබිමුවේ තබයි.“සිටු දියණියෝත් එවක් පටන්
ඔහු සිත් ගන්නට සව්භරණ ලා සැරහිගෙන තුමු ම ඕහට බත් මාළු පිසති. කවති. පොවති ඉස
සෝධවති. නාවති. ” සිටු කුමරිය දැඩි අපේක්ෂණයකින් සිය අනාගතය ගැන සිහින
දකියි. සිය සැමියාගෙන් සොඳුරු ලොවක් පතයි.ඇගේ ප්‍රාර්ථනය වෙනුවෙන් ඈ කරන කැපකිරීම්
අතිමහත් ය. එහෙත් අනපේක්ෂිත අභාග්‍යය ඉතා ම ඛේදජනකය. ඇගේ සිතේ ඔහු කෙරෙහි උපන් ආලය
ඇගේ සැමියා තේරුම් නොගනී. ඔහු ඔහුට ම ආවේණික ස්වරූපයෙන් ජීවිතය දකින්නෙකි. යුග
දිවියක අප අවශ්‍ය ලෙස ම අවධාරණය කර ගත යුතු කරුණක් වේ. ධර්මසේන හිමියෝ කුණ්ඩලකේසි
කතාවේ දි අපට අවධාරණය කරන්නේ එකී කරුණයි. එනම් අන්‍යෝන්‍ය අවබෝධය රුචි අරුචි කම්
තේරුම් ගැනීම නොමැති විටෙක යුග දිවිය බිඳ වැටෙන අයුරු අපූරුවට පැහැදිලි කරයි.
සැමියා ඇගේ සියලු සත්කාර විඳිමින් සිතන සිතුවිල්ල මෙසේය“සොරාණෝ
ද කීප දවසකින් කළ උපකාරත් නොසලකා ම මෑ මරාපියා මැගේ ආභරණ හැරගෙන රා බී ඇවිදනවුන්ට
විකොට පියා අභිප්‍රාය දෙයක් හැරගෙන කාපියන්නේ කවර දවසෙක දෝහෝයි සිතීය.” මෙහි
දී සොරෙකු මිස සැබෑ සැමියෙකු අපට නිරූපණය නොවේ. මෙය සැබවින් ම ඛේදවාචකයෙකි. අප
අවධාරණය කරගත යුතු කරුණක් මෙහි ගැබ්ව ඇත. එනම් ඒකපාර්ශවීය වූ ආදරයකට පැවතිය හැකි ද
යන්නයි. කතුවරයා සොරාගේ ප්‍රකාශනය දක්වා ඇත්තේ වංචනික සැමියෙකුගේ, පෙම්වතෙකුගේ භාව
ප්‍රකාශනයක් ලෙසය.එය අතීතයට කෙසේ වෙතත් වර්තමානයට කෙතරම් යෝග්‍යදැයි සිතා ගත
හැකිය.
ඉන් පසුව
කතුවරයා අප රැගෙන යන්නේ කතාවේ ඛේදජනක ම ඉසව්වකටය. වංචනික සැමියෙකු දයාබර බිරිඳක
වංචාවට ලක් කරන අයුරු ධර්මසේන හිමියෝ මැනවින් දක්වති. “කෙළ
ගෙන සීගෙන යන ගමන හෙයින් තොපගේ නැයනුත් රඳවාලා යම්හයි කිවුය. උයිත් තර ව සිත් ගන්ට
සිතන හෙයින් එලෙස ම කළහ.” ඔහුගේ වංචනික ඉල්ලීමට බිරිඳ එකඟ වෙයි. ඒ ඈ සකල්‍ය
යෙන් ම ඔහු විශ්වාස කළ නිසා ය. අපි එය තවදුරටත් වර්තමානයේ දී ද අත් විඳිමු. මේ
වංචනික බව සදා සත්‍යයක් ලෙස සැලකු බිරිඳ අවසානයේ දී මුහුණ දෙන කටුක යථාර්ථය
මැනවින් නිරූපණය කිරීමට ධර්මසේන හිමියන්ගේ භාෂාව ප්‍රාණවත්ය. තමන් සැබවින් ම
සැමියාට ආදරය කළ බව ඈ “ මම එවක් පටන් පක්ෂපාතව ම
විසිමි.” යැයි පවසන්නේ ඒ නිසාය. එහෙත් ළඳ බොළඳ සිටු දියණිය මේ අතිශය
තීරණාත්මක අවස්ථාවේ දී කටයුතු කරන ආකාරය අතිප්‍රශංසනීය වේ. වර්තමාන බොහෝ සමාජ
ඛේදවාචක සිඳුවන පසුබිම මෙයයි. කළකිරීම් ,බලාපොරොත්තු කඩවීම් ජීවිත අපේක්ෂා ඉඳුරාම
බිඳ දමයි. එහෙත් සිටු දියණිය සිය බුද්ධිය අවදි කර ගත්තාය.
“නුවණ නම් ඇතිවන්නා පලාගෙන කන්ට නොවත් ප්‍රයෝජන
නිසා වුව” අවස්ථානුකූලව සුදුසු ම පියවර ගැනීමට ඇ පසුබට නොවූවාය. තමාට ඇලුම්
නොකළ තමාගේ ආදරය තේරුම් නොගත්, තමා මැරීමට තීරණය කළ ඔහු මරා දැමී ම හැර වෙනත්
විකල්පයක් ඈ සතු නොවිය.“සිටු දියණියෝද සොරුන්ගේ
අකුසල් නමැති සතුරාත් සහය කොටගෙන ” යැයි දක්වමින් ඔහුගේ මරණයෙන් පසු ඈ මුහුණ
දෙන ප්‍රධාන අභියෝගය නම් නිවසට යනවා ද නැද්ද යන්නයි. ඈ තෙරම් බුද්ධිමත් ලෙසත් ප්‍රායෝගික
ලෙසත් එකී තීරණය ගන්නේ ද යන්න “කවර ලෙසින් වුවත් ගෙට
යාමෙන් ප්‍රයෝජන නැතැයි සිතාලා ආභරණ පැලදගෙන තනිව යාමෙහි ආදිනව සලකා එයිත් එතැන ම
දමා වල් වැද අනුක්‍රමයෙන් ඒ ඒ තැන ඇවිදිනි පරිව්‍රාජිකාවරුන් වසන පන්සලකට ගොසින්
උන් වැදලා ස්වාමිනී මා මහණ කළ මැනවැයි කිවූ ය.” යෙදුම සනාථ කරයි. ඉන් පසුව
කතාව විකාශනය වන්නේ ඈ පරිව්‍රාජිකාවක විමෙනි. වාද දහසක් උගත් ඈ ජම්බුපරිව්‍රාජිකා
ලෙස පතළ වූවා ය. සැරියුත් මහරහතන් වහන්සේ හමු වීමෙන් පසුව බුදු සසුනට ඇතුල් වෙන ඈ
කුණ්ඩලකේසී නම් ස්ථවිරී ව මරණ දුකින් මිදී රහත් භාවයට පත් වූවාය.
කතුවරයා සිටු
දියණිය, ජම්බුපරිව්‍රාජිකව, කුණ්ඩලකේසී යන චරිත ත්‍රිත්වය තුළ ගැහැණිය මුහුණපාන
ගැටළු සහ ඒවාට විසදුම් සෙවීමට ඈ දරන වෙහෙස පෙන්වා දෙයි. විශේෂයෙන් ජීවිත අභියෝග
හමුවේ නොසැලෙන ගැහැනියක මේ කතාවෙන් නිරූපණය කෙරෙයි. ධර්මසේන හිමියෝ කුණ්ඩලකේසී
චරිතය හරහා සමාජ කතිකාවතකට මඟ පාදයි. එනම් සමාජ අභියෝග හමුවේ හුදෙකලා වන ගැහැනිය
එයින් මිදී ඒ අභියෝග ජයගත් විට ඈ උත්තම භාවයට පත් වන බවයි.
කුණඩලකේසී කතාව
අප නැවත නැවත කියවිය යුතු ඇසිය යුතු කතාවක් ලෙස පෙන්වා දිය හැකිය. තරුණ පරපුර මෙන්
ම වැඩිහිටි පරපුර ද බොහෝ වාරයන්හි සිඳු කරනු ලබන වැරදි ධර්මසේන හිමියෝ අපට නැවත
නැවතත් මතක් කර සිටිති. එහෙයින් කුණ්ඩලකේසී කතාව පුරාතන ගද්‍ය සාහිත්‍යයට අදාළ වුව
ද වර්තමාන සමාජයට බෙහෙවින් ම සමීපස්ථ කරගත හැකි කතාවක් ලෙස පෙන්වා දිය හැකිය.
තිලක් ඒකනායක
අ/නාච්චාදූව සිංහල මහ විදුහල
ගුත්තිල කාව්‍යය
(ගෙදර ඉන්න උසස් පෙළ සිසුන්ට අත්වැලක්)
ගුත්තිල කාව්‍යයයෙන් මතු වන වෑත්තෑවේ ජනකවියා
ගුත්තිල කාව්‍යයයෙන් මතු වන වෑත්තෑවේ ජනකවියා
සිංහල කාව්‍යාවලියෙහි
මුදුන් මල ලෙස සම්භාවනාවට පාත්‍ර වු ග්‍රන්ථය ගුත්තිල කාව්‍යය වේ. සිව්පද ජාතක
කාව්‍යය අතර රමණීය කාව්‍යය ලෙස එය හැදින්වේ. කතුවරයා සතු ජීවිත පරිඥානය¸ මානව දයාව¸ මෙන් ම අපූර්ව වස්තු නිර්මාණයෙහිලා දැක් වූ
කුසලතාව ගුත්තිලයෙන් විෂද වේ. කෝට්ටේ යුගයේ සය වන පැරකුම්බා රජ දවස ලියවුණු
ගුත්තිල කාව්‍යය ගුත්තිල ජාතකය අනුව යමින් විරචිත ය. සලාවත ජයපාල මැතිඳුගේ ඇරයුමෙන් රචිත මෙම
කෘතිය පද්‍යය 511 කින් සමන්විත ය.
ගුත්තිලය රමණීය කෘතියක් වීමෙහිලා එහි කතුවර වැත්තෑවේ හිමියන් අනුදත් කවි මග
බෙහෙවින් ම ඉවහල් වි ඇති බව පෙනේ . සාම්ප්‍රදායික කවි මග අනුගමනය කරමින් ම සිය
අනන්‍යතාව ප්‍රකට කරවීමට එතුමෝ සමත් වූහ. ගුත්තිල කතුවරයා ජනකවියෙකුගේ විලාසයෙන්
සිය කාව්‍යය ග්‍රන්ථය සම්පාදනය කළේය. ජනකවියට සුවිශේෂ වූ ලක්ෂණ රැසක් ජනකවි
පරිශීලනයේ දී අපට හදුනා ගත හැකි ය. ඒ අතර සංක්ෂිප්ත බව සහ සරල බස් වහර¸ සංයමය¸ අව්‍යාජ බව¸ පොදු ජන ජීවිතයට සමිපස්ථ බව මෙන් ම නිහතමානි
බව ද වේ. ගුත්තිලයෙන් එකි ජනකවි සම්ප්‍රදාය මතු වූ අවස්ථා සංක්ෂිප්තව දැක්වීමක්
මෙහි දී අපේක්ෂා කෙරේ .
සියලු දේ සවිස්තරව කීම
සම්භාව්‍ය කාව්‍ය රචකයාට අභිමත වූවකි. එහෙත් ජනකවි සම්ප්‍රදාය තුළ සංක්ෂිප්ත බව
මෙන් ම සරල බව දක්නට ලැබේ. මේ නිසා ම ගුත්තිල කතුවරයා දිගු වැනුමක් සිදු කළේ අවශ්‍ය
ම තැනක දී පමණි. අනෙක් බොහෝඅවස්ථාවල දී ඒ ඒ සිදුවීම් වහ වහා කීවේ ය.අසන්නා තුළ
කුතුහලය රැක ගැනිමටත් ඔහු වෙහෙසට පත් නොකිරීමටත් ගුත්තිල කතුවරයා වග බලා ගත්තේ ය. සංක්ෂිප්ත
බව සඳහා වාද
නැරඹුමත් සහ දෙව්ලොව සිරි වැනුමත් හැරුණු කොට අනෙක් සියලු වැනුම් නිදසුන්ය.
ගුත්තිලයේ කතා නායකයා ගුත්තිල ඇදුරා වන අතර ඔහු පිළිබදව පද්‍ය පහකින් සවිස්තරාත්මක
වර්ණනයක් කිරිමට කතුවරයා සමත් වෙයි. (108-113 පද්‍යය) ගුත්තිල ඇදුරු වැනුම කෙටි
වුව ද එය ගුත්තිල ඇදුරා පිළිබඳ රසිකයා සපුරා දැනුවත් කිරීමට සමත් වර්ණනයකි. සරල
බව ගුත්තිල කාවයය පුරා ම දක්නට ඇති ලක්ෂණයක් වන අතර කවියා ජනකවියාට සමීප වීමට එකී
කරුණ ඉදුරාම බල පා තිබේ. මුසිල වීණා වාදනය කරණ අවස්ථාව කතුවරයා දක්වන්නේ ඔහුගේ
මනෝභාවය මුල සිට ම පාඨකයාට දැනුවත් කළ යුතු සේ හඟිමිනි. ජනකවියා සේ ම
ගුත්තිල කවියා ද සරල එහෙත් සිත් ගන්නාසුලු
ලෙස අදාළ අවස්ථාව ප්‍රතිනිර්මාණය කරයි.
බසකින් නොදන්නා
කියන පුවතට පෙන්නා
නොසතුටුව ඉන්නා
දනන් මෙන් උන්
බලා
ඉන්නා (138)
සැරයට ලං නොවන
ළිහිණියෙකු
අත් පසුරෙන
ගනිමියි තැත් කරන
එකකු මෙන්
ගායනා කරමින (140)
වෙසෙසින් නියම
කොට
දුන්නත් ඉසුරු
මුළු රට
තුටු නොවන එකෙකුට
ගමක් දෙන මෙන්
සතුටු පඩුරට (142)
“ඒ අසා ව්‍යාපාරයෝ සතුටු වන්නාක් නුවූහ. එවිට
මූසිලයෝත් මද්දම කොට විනා ගාන්නට වන. එවිටත් මදකුත් සතුටු නුවුහ. එවිට මූසිල නම්
ගාන්ධර්ව සිතන්නේ එසේ වී නම් මුන් හැම විශේෂයෙක් නොදන්නා කෙනෙකුන් වනැයි සිතා එසේ නම් මමත් මුන්
හැම නොදන්නා මිනිසුන්ට නපුරු කොට ගායනා කරන්නට වන . එවේලේත් කිසි කෙනෙක් සතුටක්
නුවූහ. (ගුත්තිල ජාතක කතාව)
ජාතක කතාවේ ඇති
මූසිලගේ වීණා වැයීමේ වෑයම ගුත්තිල කතුවරයා රසවත් එකක් කරන්නේ මේ සරල රිතිය අනුගමනය
කරමිනි. ගුත්තිල කාව්‍යය පුරා ම ඇති බොහෝ
වර්ණනා සරල ඒවා වෙයි. ඒ නිසාම කතුවරයා අනුදත් රීතිය ජනකවි රීතියට සමාන
වුවකි. ඔහු යොදා ගත් උපමා රූපකාදිය ද ඉතා සරල ඒවාය. ඒ සරල බව රසිකයාගේ හදවත වඩාත්
අමන්දානන්දයට පත් කරයි.
අසුරන් ජය ගෙන
සිත සේ
සුරසෙන් කෙළි
සැණකෙළි සේ - උපමා
හිමි තම නැණ
නැවින් - රූපක
සුරත් තඹරු
පෙති සෙ නෙතින් - උපමා
කිරි දියෙනි දෙවියත්
අඟුරු සුදුවන කලෙක් නම් නැත් - උපමා
ජනකවියා මෙන්ම ගුත්තිල
කවියා ද සරල උපමා යොදා ගත්තේ සිය කාව්‍ය ප්‍රතිභානයට කිසිදු හානියක් නොවන අයුරිනි.
උපමා රූපක යොදා ගැනීම අතින් වෑත්තෑවේ
හිමියන් ජනකවියාට ලං වන්නේ ඒවා අතිශය සරල වීමත් අව්‍යාජවීමත් සහ ඖචිත්‍ය බවින් රසිකයා අපූර්ව නිර්මාණ
චමත්කාරයකට කැඳවාගෙන යනු ලබන
නිසාත් ය.
ගුත්තිල කතුවර
වෑත්තෑවේ හිමියන් ජනකවියාට ලං වන තවත් සුවිශේෂි
කරුණක් වන්නේ ඔහු සතු වූ සංයමයයි. “ වෑත්තෑවේ හිමියන් පිළිබඳ තොරතුරු නොදත හැකි බැවින් උන්වහන්සේ කෙබදු මනස් ඇත්තකු
වූ දැයි සෙවීමට ගුත්තිල කාව්‍යයම වහල් කොට ගත යුතුය. නිහතමානය¸ සිත කය උතුරායන
තරම් වූ බුද්ධ භක්තිය දියෙන් කිර වෙන් කොට ගන්නා හංසයකු සේ ස්ත්‍රිය¸ සංගීතය¸ කාව්‍යය යන ආදියෙන් නිර්මල
ආස්වාදයක් ලැබූ රුචිකත්වය ¸බුදුන් මැරීමට ගල් පෙරළුවෙකුට පවා අනුකම්පා කරන තරම්
කරුණාවෙන් තෙත් වු ළය ¸ උචිතානුචිත විවේකයෙහි අපූරු බුද්ධිය¸ අවුල් නිරවුල්
කිරිමෙහි හුරුබුහුටිකම¸ දේව කථා නිපද වූ ආදි කවීන්ගේ කල්පනා ශක්තිය වැනි සුගම
කල්පනා ශක්තිය ¸ කුඩා දරුවෙකු සේ දේව කථාවෙන් චමත්කාරය ලැබීමේ වාසනාව යන ආදී චිත්ත
චෛතසික ලක්ෂණයෙන් හෙබි සහජ කවියෙකු ලෙස ය වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍ය යෙහි
පිළිබිඹු වී ඇත්තේ.” ( සිංහල සාහිත්‍ය යේ නැඟීම 264 පිටුව)
ජනකවියා පුද්ගල දුබලකම්¸ දුෂ්ටකම් දෙස උපේක්ෂා සහගත ලෙස බැලුවේ ය. බණ කතා
ඇසීමත් චිරාත් කාලයක් ගැමියාට හුරුවූ චින්තනය ඔහු එබදු තත්වයකට පත් කළේ ය.
වෑත්තෑවේ හිමියෝ ද එකී ජන විඥානය හදුනාගෙන
සිටියහ. එබැවින් දෙව්දත් තෙරුන් මෙන් ම දෙව්දතුන්ගේ පූර්ව චරිතයක් වූ මූසිල
කෙරෙහි ද සානුකම්පිතව බැලීමට වෑත්තැවේ හිමියෝ සමත් වූහ. ගුත්තිලය සිත් පහන් කරන
කාව්‍යයක් වන්නේත් ¸ වෑත්තෑවේ හිමියන් ජනකවියාට බොහෝ ලං වන්නේත් මේ සානුකම්පිත
දෘෂ්ටිය නිසා ය. මූසිලයාගේ මෝඩකම්¸ දුෂ්ටකම් දෙස ද අනුකම්පා සහගතව බැලිමට වැත්තැවේ
හිමියෝ සමත් වූහ.ගුත්තිල ඇඳුරු සක් දෙවිඳුන්ගේ පිහිට ලබා වීණා තත් සිඳින විට ඒ
අනුගමනය කරන මූසිලයා කෙරෙහි අනුකම්පාවක් අප සිත්හි ඇති කරවන්නේත් වාදයෙන් පරාජයට පත් ව ඔහු පත් ඛේදනීය ඉරණම
හමුවේ අනුකම්පා සහගත වන්නේත් මේ සානුකම්පිත බව නිසාය.
“ යන ඔහු අසරිණින්
දුටු දුටු දනෝ
උරණින්
තමන් බල
පමණින්
දෙමින් බැට කැට මුගුරු පහනින් (315)
මූසල මෙපුර තට
නුවරෙක් නොවෙයි ඉඳිනට
ඉන් තෝ මෙහි නොසිට
යවයි නෙරපූය යම පුරයට ( 317)
ගුත්තිලගේ ජයග්‍රහනයෙන් උදම් වු
ජනයා සිය බල පමණින් මූසිලට කැට මුගුරු පහණින් බැට දෙමින් යම පුරයට යවන අයුරු
වැත්තැවේ හිමියෝ පවසන්නේ ‘ අනේ ’ යන හැඟුම
සහෘදයාට ද කියවෙන අයුරෙනි. වෑත්තෑවේ
හිමියන්ද ජනකවියා මෙන්ම උපන් අනුකම්පාව සහිත වූවෙක් ම විය.
වෑත්තෑවේ හිමියන් ජනකවියාට සමීප
විමේ තවත් එක් විශේෂ ලකුණක් නම් ගැමි වාගාලාප සිය කාව්‍යය පුරා ම යොදා ගැනිමයි. උගතකු
විය යුතු අවස්ථාවේ උගතකු වීම ¸බුද්ධිමතකු විය යුතු අවස්ථාවේ බුද්ධිමතෙකු විම ¸
ගැමියකු විය යුතු අවස්ථාවේ ගැමියකු විම බොළඳ අදහස් ඇති අවස්ථාවේ බොළඳ වීම ශ්‍රේෂ්ඨ
ජනකවියෙකුගේ ප්‍රතිභානයක් බව ද ¸ වෑත්තෑවේ
හිමියන් ශ්‍රේෂ්ඨ ජනකවියකුට හිමි
තැන ලබන්නේ උන්වහන්සේ තුළ ද මේ ලකුණු නො අඩුව
තිබුණ නිසාවෙනැයි මාර්ටින් වික්‍රමසිංහයෝ පවසති. එනයින් බලන කල ගත්තිලයේ
ඇති පහත වාගාලාප පසක් කරන්නේ වෑත්තෑවේ හිමියන් ජනකවියාට සමිප වූ බව නොවේ ද?
තුටු නොවන එකෙකුට- ගමක් දෙන මෙන් සතුටු පඬුරට (142)
මොහුට පුලුවන් කල - මෙමට බැරි කිම පුරුදු එැම කල (192)
ලෙස සිය පිය සුතහු - හොදයි ඇති කළ නියා අප මොහු (197)
මොහුට අප දුන් සිප් - පෙවූ කිරි වැන්න විස ගොර සප් (100)
මෙසේ වු අයටත් සිල්ප සෑදේ (200)
ලදිමු ඇස් කන් ලත් පලේ (333)
එසක සැපත් පවසා කිම නිමක් නැති (473)
ජනකවියා විරිත¸ එලිවැට හා අනුප්‍රාසාත්මක ගීතවත්භාවය සිය කාව්‍ය යෙහි
සුවිශේෂි ලක්ෂණ බවට පත් කළේ ය. ජනකවියා සිය පද්‍ය යෙන් මතුවන මනෝභාවයන් පමණක් ම
අපේක්ෂා නොකළේ ය. එහි ගායනීය බව පිළිබඳව ද
සැලකිලිමත් විය. ඒ නිසා ජනකවියා මෙන් ම අදාළ අවස්ථාවට සුදුසු සේ පද භාවිතයට
වෑත්තැවේ හිමි මැළි නොවීය.
නවතා ගිගිරියේ
අසන ලෙස සිත් පි රියේ
කර කන් බිහිරියේ
කරත වෙණ ගායනා සරියේ
මෙහි දී ගිගිරි යන්න ගිගිරියේ ලෙස ද පිරිය යන්න පිරියේ ලෙස ද බිහිරි යන්න
බිහිරියේ ලෙස ද විකෘත කොට කීමට වෑත්තෑවේ කවියා පෙළබිණි. ඒ පද විකෘතිය බැහැර කලේ
නම් වීණා නාදය පිළිඑබඳ පරිසරයේ ස්වභාවය රසිකයාට මෙතරම් හොඳින් සන්නිවේදනය නොවනු
ඇත. ඒ අනුව ද වෑත්තෑවේ හිමියෝ ජනකවියාට සමීප වූහ.
වෑත්තෑවේ හිමියන් ජනකවියාට වඩාත් සමිප වන අවස්ථාව සහිත වර්ණනය වන්නේ
ගුත්තිල ඇඳුරුතුමා දෙව් ලොවට ගොස් ¸ආපසු’විත් මිනිසුන්ට බණ කියන අවස්ථාවයි. (467-
476 පද්‍යයන්)
“ඇතෙක දෙතිස් කුඹු දළ සිවු සැටක් ඇති
ගෙයක රුවන් ටැම් හැත්තෑ දහස් ඇති
රියෙක යොදන ලද සුඳු සිදු දහස් ඇති
එසක සැපත් පවසා කිම නිමක් නැති (473) සක් දෙවිඳුගේ ඇතු ගැන වෑත්තෑවේ හිමියන් පවසන අදහස වඩාත් සමීප
වන්නේ ජනකවියකට ය. ‘එසක සැපත් පවසා කිම නිමක් නැති’ යන ප්‍රකාශය ජනකවි ආරට ඉතා
ලංවන්නකි. දක්ෂ උගත් කවියෙකු වන එහිමියෝ සිය උගත්කම් තර්ක බුද්ධිය පලවා හැර සැබෑ
ජනකවියෙකු වන අන්දම මෙහි දී අපට පෙනේ.
ගසෙක පැහැය ගවු දෙසියක දිසේයා
මලෙක සුවඳ සිවු සිය ගවු
ඇසේයා
ගලෙක මොළොක උන් සක් නැබ වැසේයා
නොයෙක එසක සැප පවසමි කෙසේයා (
474)
දෙව් ලෝ සිරිය ගැමි බණ පොතට අදාළ වූවකි. ගුත්තිල ඇඳුරු සිය ජනයාට පවසන තොරතුරු
අනාදිමත් කලෙක සිට මෙරට ජනයා ද අසා දැන සිටි කරුණකි. ජනකවියා සිය පරිසර සාධක අදාළ
කරගන්නාක් මෙන් ගුත්තිල කවියා ද සාමාන්‍ය ජනයාගේ සිතුම් පැතුම් හොඳින් තෝරා බේරා
ගත් බවක් පෙනේ. සිය රසිකයාගේ එනම්
ගැමියාගේ රස වින්දනය පිළිබඳ හොදින් දත් වෑත්තෑවේ හිමි සිය කවි රීතිය අතින්
ජනකවියාට විශේෂයෙන් ම ලං වූවෙකි.උක්ත කරුණු කාරණාවලින් අපට පැහැදිලි වන කරුණක් ඇත.
එනම් වෑත්තෑවේ හිමි සිය කෘතිය සිංහල කාව්‍යාවලියේ මුදුන් මල බවට පත් කළේ එතුමා භාවිත
කළ ජනකවි රීතිය නිසා බවයි.
(ආශ්‍රිත ග්‍රන්ථ: වෑත්තෑවේ තෙරිඳුන්
කළ ගුත්තිල කාව්‍යය-සංස්කරණය සිරි තිලකසිරි
සිංහල
සාහිත්‍ය යේ නැඟීම - මාර්ටින් වික්‍රමසිංහ
ගුත්තිල
කාව්‍යය වර්ණනා - ආර්. කේ. වීරක්කොඩි ජයසිංහ)
සැකසුම/ තිලක්
ඒකනායක අ/
නාච්චාදූව සිංහල මහා විද්‍යාලය
Saturday, 21 March 2020
මට්ටකුණ්ඩලී කතාව
(ගෙදර ඉන්න උසස් පෙළ සිසුන්ට අත්වැලක්)
සද්ධර්මරත්නාවලියෙහි මට්ටකුණ්ඩලී කතාවෙන් මානව දයාව පෙන්වයි. සිංහල සාහිත්‍ය වංශයෙහි ඇති මහා බණ පොත ලෙස සද්ධර්මරත්නාවලිය අවිවාදයෙන් පිළිගැනේ. සද්ධර්මය නැමති රුවන් ඇමුණු වැල යන තේරුම ඇති මේ ග්‍රන්ථය දඹදෙණි යුගයේ විසු ධර්මසේන නම් මහ තෙර නමකගේ කෘතියකැයි සැලකේ. සද්ධර්මරත්නාවලිය පාලි ධම්මපදට්ඨ කතාව නම් අටුවා ග්‍රන්ථය ඇසුරෙන් රචිත කෘතියකි. කතුවරයාගේ පරමාර්ථය වී ඇත්තේ එකී කතා ඇසුරෙන් සාමාන්‍ය ලෝකයාට ධර්මෝපදේශ ඉගැන්වීමය. මෙය පදානුගත පරිවර්තනයක් නොවන බව සද්ධර්මරත්නාවලියෙහි ම එන “ පාලි ක්‍රමය හැර අර්ථ පමණක් ගෙන අප විසින් කළා වූ ප්‍රබන්ධයෙහි” යන පාඨයෙන් පැහැදිලි වේ .
සද්ධර්මරත්නාවලිය කියවන පාඨකයාගේ අවධානයට යොමු විය යුතු එහි මුඛ්‍ය පරමාර්ථය විස්තර කරන්නේ “ යම් කෙනෙක් නුවණ මඳවත් කුසලඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ සත්පුරුෂයනට වැඩ සඳහා සද්ධර්මරත්නාවලිය නම් වූ ප්‍රබන්ධයක් කරම්හ” ඒ අනුව සාමාන්‍ය පොදු ජනයා සහ ධර්මාභියෝගයට උපදෙස් සැපයීම යන කරුණු උදෙසා මෙය රචිත බව පැහැදිලිය.ධර්මසේන හිමියන්ගේ ප්‍රබන්ධයෙහි දක්නට හැකි සුවිශේෂී ම කරුණ වන්නේ මිනිස් සිත්සතන්හි ඇති සංකීර්ණ බව අවබෝධ කරගෙන මිනිසුන් දෙස සානුකම්පිතව බැලිමයි. එහි පුර්විකාවෙහි එන “ වදන දරුවන්ගේ මුහුණ දකුම්හයි යන මේ විතර ආස්වාදයකින් කවර තරම් වූත් ප්‍රසව වේදනා ඉවසන ස්ත්‍රීන් පරිද්දෙන්... නිවන් පුර වදනා උන් අතුරා සැනසෙන්නට සද්ධර්මරත්නාවලී නමැති ශාලාව සරසමු” මානව දයාව ලෙස වර්තමානයේ සුලබව කතා බහට ලක්ව ඇති එහෙත් ප්‍රායෝගික බවින් අතිශය දුර්ලභ වූ සංකල්පය කෙරෙහි කතුවරයාගේ විශේෂ අවධානය යොමුව ඇති බව පැහැදිලිය. සියල්ල ප්‍රමාණ කිරීමේ අවසන් ප්‍රතිඵලය ‘ මිනිසායි ’. මනුෂ්‍යත්වය නම් වූ සංකල්පය ප්‍රමාණ කරන්නේ කෙසේ ද? ඊට පිළිතුරක් සද්ධර්මරත්නාවලි පුර්විකාවෙහි මෙසේ දැක්වේ. “ තමාගේ සිතට අනෙක් ඉසුරු කෙනෙකුන් නැති හෙයින් අකුසලින් වෙන් කොට කුසල්හි පිහිටුවන්නට ප්‍රාණඝාතාදි ඒ ඒ අකුසලින් වෙන් ව දුරුවන්ට කරන ව්‍යායාම නැති හෙයින් තම තමා සිත තමන් ම හික්මවීම යහපතැ” යන්න එකි අදහස සාධනය කරයි.
සද්ධර්මරත්නාවලියෙහි එන බොහෝ කතා වස්තූන්හි මානව දයාව පිලිබඳ අදහස හොදින් සංකලනය වී ඇත. එහි එන මට්ටකුණ්ඩලි කතාව ඇසුරෙන් කතුවරයාගේ මානව දයාව සාකච්ඡා කෙරේ. මෙම කතාව බෞද්ධ සාහිත්‍ය යේ චිර ප්‍රසිද්ධ එකකි. සැවැත් නුවර අදින්න පුබ්බක නම් සිටුවරයෙන් විසුවේය. මට්ටකුණ්ඩලී නමින් ඔහුට එකම පුතෙක් සිටියේය. ඒ පුතුට කර්ණාභරණයක් සෑදීම සඳහා අධික වියදමක් කිරිමට සිඳුවෙතැයි තමා විසින් ම කළ ආභරණයක් පුතුට පැලඳුවේය. එම ආභරණය මට සිලිටු නොවූ බැවින් ඔහුගේ පුතු මට්ටකුණ්ඩලී නම් විය. ඔහු රෝගි වූ විට බෙහෙත් කරන්නේ තමා විසින් ම ය. වෛදයවරු ඔහුගේ අධික ලෝභය නිසා ඔහුගෙන් පලිගැනිමට බොරු බෙහෙත් කියා දුන්හ. එහි ප්‍රතිඵලය ලෙස මට්ටකුණ්ඩලී අකාලයේ මියගියේ ය. බුදුරජාණන් වහන්සේගේ කරුණාවට පාත්‍ර වන මට්ටකුණ්ඩලී උන්වහන්සේගේ දැකීමෙන් ප්‍රසාදයට පත් ව මිය ගොස් දෙව් ලොව ඉපදුනේ ය. ඉන් පසුව සිඳු වන සිද්ධිදාමය නිසා අදින්නපුබ්බක නිර්ලෝභී අයෙක් වූයේ ය. මෙහිදී අදින්න පුබ්බක නිරූපණය කර ඇත්තේ අධික ලෝභීකම, පුත්‍ර ස්නේහය යන පරස්පර හැඟීම් දෙකෙන් මිරිකුන චරිතයක් ලෙස ය. ඔහු අධික ලෝභියෙකු වුව ද අධම චරිතයක් ලෙස නිරූපණය නොකිරිමට ධර්මසේන කතු හිමියෝ වග බලා ගත්හ. “ බමුණා මිය ගිය පුතු දවා පියා මළ පුතු අරභයා අඩමින් දවාලු සොහොනේ ඇවිද්දී” ලෙස දක්වා ඇත්තේ ඔහුගේ මනසේ පැවති ස්වභාවයයි.
ධර්මසේන හිමියන් මේ කතාව රචනා කරන්නේ බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම නිසා දෙව් ලොව සැපත ලද හැක යන කරුණ පොදු ජනයාට ලබා දිම සඳහා ය. එකී සිද්ධි නිරුපණය කතුවරයා අතින් මනුෂ්‍යත්වය පිළිබඳ පදනමක සිට කර ඇති බව පෙනේ. මෙහි අදින්නපුබ්බක චරිතය ප්‍රධාන ලෙස විස්තර කෙරේ. චරිත නිරූපණයේ දී අදින්න පුබ්බක නම් මසුරා පිලිබඳ ව දැඩි ආවේගයකින් තොරව ප්‍රකාශ කිරිමට කතුවරයා වග බලා ගනී. බෞද්ධ සංස්කෘතිය විසින් හික්මවන ලද සිංහල ගැමියෙකු සිහිපත් වන අන්දමේ නිරුපණයක් දක්නට ලැබේ. සතුරාගේ හෝ විපතකදී අනේ යැයි කියු ගැමියෙකු සිංහල සංස්කෘතිය තුළ ජීවත් විය. මිනිසෙකු පමණක් නොව සතා සිව්පාවා උදෙසා ද තම සිත කරුණාවෙන් බර කර ගත් සිත් සහිත මිනිස්සු බෞද්ධ සමාජයෙන් හික්මීම ලද්දෝ වුහ. සද්ධර්මරත්නාවලි කතුවරයා සිය කතාව තුළින් අදින්න පුබ්බක ද අනුකම්පාවට බඳුන් කරන්නේ ද ඉහත කී කරුණ නිසාම ය. එහෙත් අදින්න පුබ්බකගේ මසුරුකම සාධාරණීය කිරීමක් මෙහි දී සිඳුවන්නේ නැත. එය ප්‍රතික්ෂේප කළ යුතු තත්ත්වයක් බව මෙහි දී අවධාරණය කරණු ලබයි. “ නුග ගස මහත් වත් නුග ඵලය කුඩාවන්නා සේ, අකුරු ලියන සේ නොදන්නා කෙනෙකුන් පත්වල ඉරි අදනා සේ, පය බරවායට පිටිකර බෙහෙත් බදින්නා සේ, ඇස් සරහන්නට තොල අඳුන් ගානා සේ , ආදා යවා තබාලා වල්පත ගත්තා සේ.” ආදී වූ ළගන්නා සුලු උපමා බහුලව යොදා ගනිමින් කතුවරයාණෝ මසුරුකමේ අනුචිතභාවය තහවුරු කරයි. මසුරෙකු යනු සමාජයේ අතීතය, වර්තමානය සහ අනාගතයටත් බිහි විය හැකි කෙනෙකි. එසේ වීමට බලපාන ‘මිනිස්කම’ කර්කෂ ද්වේශයකින් විවේචනය කළ යුක්තක් ද නැතහොත් සානුකම්පිතව විමර්ශනය කළ යුක්තක් ද යන්න ධර්මසේන හිමියෝ මැනවින් වටහාගෙන සිටියහ. එය මට්ටකුණ්ඩලී කතාවේ චරිත නිරූපණයෙන් පැහැදිලි වේ. අදින්නපුබ්බකගේ අන්වර්ථ නාමය ඔහුට හොදින් ම ගැලපෙන බව “තණ අග ගලා තෙල් බින්දුවක් විතරක් අනුන්ට නුදුන් විරූය.” යන යෙදුමෙන් හොදින් ම සනාථ වෙයි. අදින්න පුබ්බකගේ සිත පිළිබඳ ව දක්වන විග්‍රහය බෞද්ධ මනෝ විද්‍යාවේ ගැඹුරු අර්ථයක් පිළිබිඹු කරයි. ඒ පිළිබිඹු කිරිම් තුළින් පුහුදුන් මනසක ස්වරූපය පිළිබඳ සානුකම්පිත බෞද්ධ හිමිනමකගේ ප්‍රත්‍යක්ෂ ඤාණය කෙතරම් ප්‍රභාවිත එකක්දැයි දක්වයි. මේ කතාවේ අදින්නපුබ්බක මසුරු මෝඩයෙකු බව අපට පෙනෙයි. එහෙත් සද්ධර්මරත්නාවලී කතුවරයා එකී මසුරු මෝඩ මිනිසා දෙස බලන්නේ ලෝකයා මසුරා දෙස බලන ඇසින් නොවේ. ඔහු පිළිබඳ හාස්‍ය මුසු උපහාසය යටින් දිවෙන්නේ දයාව මුසු ආකල්පයක් බව “... ඒ පරිද්දෙන් ම එතැනට පැමිණි පර්ෂදටත් , බමුණාණන්ටත් දේවතාවාණන්ටත් නිවන් සම්පත් දෙනු නිසා බණ දෙසන සේක්.” “ත්‍යාගි අදහස් මඳකුත් ඒ අවධියට නැති අදින්නපුබ්බක බමුණු ද සෝවාන් පෙලෙහි පිහිටා ත්‍යාගි විය.” යන යෙදුම්වලින් තේරුම් ගත හැකිය. බමුණා පමණක් හුදෙකලා කොට අනෙක් අය පමණක් නිවන් දැක්කවීමේ කුරිරු සිතක් කතුවරයා තුළ නොවිය. පාඨක සිත අදින්නපුබ්බක චරිතය පිළිබඳ විස්මයට පත් කරමින් ද නැවත අනුකම්පාවට බඳුන් කරමින් ද චරිත සිද්ධි නිරුපණයට කතුවරයා සමත් ව ඇත.
ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ උපහාසය යනු ආවේනික ලක්ෂණයක් බව සද්ධර්මරත්නාවලිය විමසන්නෙකුට පැහැදිලි කර ගත හැක. එකී ලක්ෂණය පාඨකයන්ගේ සිත් ඇද ගැනිමට ගත් උත්සහයක් පමණක් ම නොවේ. සමාජය යනු විවිධ මිනිස් හැසිරීම් ගති ලක්ෂණවලින් පිරි එකකි. විවිධ පුද්ගලයින් සතු දුර්වලකම් නිසා ඔවුන් නිග්‍රහයට පත් කොට ගර්හාවට පත් කොට නිර්දය රසයක් නිර්මාණය කිරීම වෙනුවට ඔවුන් කෙරෙහි අනුකම්පාව ඇති කිරිමට ගත් උත්සහයක් මට්ටකුණ්ඩලී කතාවෙන් ප්‍රකට වෙයි. ලෝභී බව දුර්ගුනයකි. මිනිස්සු විවිධ දුර්ගුණවලින් පෙළෙති. එය මිනිස් ප්‍රකෘතියේ ඇති වරදකි. දුර්වල මිනිස්සු මේ මනුෂ්‍ය ප්‍රකෘතියට ගොදුරු වෙති. ගොදුරු වී අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙති. එහෙයින් ඔවුන් ඇත්ත වශයෙන් ම බඳුන් විය යුත්තේ නිගාවට නොව අනුකම්පාවටය. ධර්මසේන හිමියෝ ඒ උත්තුංග සිතුවිල්ල මැනවින් පසක් කළහ.
මේ අනුව පැහැදිලි වන්නේ ධර්මසේන හිමියන්ගේ කතා කලාවේ ප්‍රමුඛ ලක්ෂණයක් වන්නේ සිය චරිත නිරූපණයේදී මානව දයාවෙන් යුක්තව ඒ චරිත දෙස බැලිමයි. මට්ටකුණ්ඩලී කතාවෙන් එකී අදහස මැනවින් සාධනය වන බව පෙන්වා දිය හැකිය.
තිලක් ඒකනායක අ/නාච්චාදුව සිංහල මහ විදුහල
Sunday, 15 March 2020
Sunday, 8 March 2020
Monday, 20 January 2020
අවුකන බුදු පිළිමය
අවුකන බුදු පිලිමය අසල දී
Add caption |
මලින සිතුවිලි සසල කළ හිත
සනසවාලු සමිද පින්සර
ඔ බේ පා යුග තබා පුදනෙමි
හදේ සුපිපුන සුවද සියපත.
මහා කරුණා නෙතින් නිසසල
දෙවාලන එක් බැල්ම සමිදුනි
සිතේ කෙලෙසුන් නිවා පිස දා
සිතට නිසැකව බවුන් කැදවයි.
ඈත වන ගැබ මතින් සපැමිණි
සීත සුළගක පහස විද විද
මෑත ඇති නිල් දියෙන් පෝෂිත
කලාවැව දෙයි නැවුම් සිතල.
අසා ගන්නට මිහිරි බණ පද
පියාගමි මම මගේ නෙත් දෙක
ඇසේ සුමධුර පිරිත් ස්වර මට
පිළිම පාමුළ නිහඩ වූ සද.
තිලක් ඒකනායක
Subscribe to:
Posts (Atom)